Saturday, March 30, 2019

සදාසරණයේ දේව අම්මා ...❤️❤️

❤️විමුක්තියේ දේව අභිරහස❤️

                      සදාසරණයේ දේව මාතාවන්ගේ පින්තූරය අලංකාර සිතුවමක් පමණක් නොව එය සැබැවින්ම දේව පණිවුඩයකි.අපගේ විශ්වාසයේ මූලික හා ප්‍රධාන අභිරහස් ගැන කතා කරන ප්‍රබන්ධයකි.පින්තූරයේ සමන්විත විවිධ වූ කොටස් මගින් දෙවියන් වහන්සේ අප සමග බව පහදා දෙයි.ඒ සමගම එය කුරුසියෙ මාර්ගයත් ,මරිය මවගේ මැදිහත් භාවය සහ දේව රාජ්‍යයේ මහිමය කියා පායි( රන්වන් පැහැති පසුබිම ).

දේව පුත්‍රයා මිනිසත් බව ගැනීමත් සමග ගැලවීමේ පොරොන්දුව මරියතුමී තුල පූර්ණත්වයට පැමිණියාය .එතුමියගේ පුත්‍රයානන් කෙරෙහි විශ්වාසය තැබූ ප්‍රථම පුද්ගලයා ලෙස ඇය කුරුසිය පාමුල සිටියාය .
ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ අවසාන මොහොතේදී මරිය මාතාවන් මුළු මහත් මානව වර්ගයාගේ මව ලෙස බාර දුන් සේක ." මෙන්න ඔබේ මෑණියෝ"(ශු.ජොහාන් 19:27).අපව සමිදුන් වෙත ළගාකරවීම සදහා ඇය මවක් ලෙස අප සමග සිටියි.                                  
   
                           මෙම පින්තූරයේ දක්නට ලැබෙන විශාලතම රූපය මරියතුමියගේ රූපය වුවද ඇය වෙත දැඩි අවදානයක් ලබා දීම එහි මූලික අරමුණ නොවේ.මෙහි මූලික අරමුණ වන්නේ මරිය මවගේ හා ජේසු බිළිඳුගෙ දෙඅත් අතර ඇති දැඩි සම්බන්ධතාවයයි.මරිය මව අප සැම සමිදුන් වෙත නිරතුරුවම යොමු කරන්නීය .ජේසු බිළිඳුන් දේව මාලිගාවේ ඔප්පු කිරීම (ලූක් 2:22-24) හා සමානව මෙහිදීද ඔහුගේ ස්වරූපය පූජා කරන බිළි පඩුරකට සමාන වේ මෙම මොහොතේදී දේව මාතවන් වහන්සේ අප වෙනුවෙන් තම පුතු පූජා කල බව අපට පෙන්වා දෙයි.උන්වහන්සේගේ අවසාන මොහොතේදී කුරුසිය පාමුල සිටි දේව මාතාවන්ගේ ශක්තිමත් වීර්යය සම්පන්න මාතවක් ලෙස ශුද්ධවූ සුවිශේෂය අපට ගෙනහැර දක්වයි.


                     මෙහි සමන්විත සියලු අංගවලින් පැහැදිලිව දිස් වනුයේ දුක් වේදනාවේ ඇති සත්‍යතාවය හා යථාර්ථයයි. මෙම සත්‍යතාව මරිය මාතාවන්ගේ මුව මඩලින්ද ,බියෙන් තැති ගැන්වී කලබල ස්වභාවයක් පෙන්නුම් කරන ජේසුතුමන්ගේ උත්තරීතර වූ විජයග්‍රහණය රන් වන් පැහැති පසුබිම් තුලින් හා දුක් වේදනාව ඇති කරන්නාවූ ආයුධ රැගත් සුරදූතයන්ගේ ස්වභාවයෙනුත් පෙන්වා දෙයි.නමුත් මෙම ආයුධ විනාශයේ පෙර ලකුණු රැගෙන එන සලකුණකට වඩා ඒවා විජයග්‍රහණයේ සම්මානයන් ලෙස දිස්වේ................


Friday, March 29, 2019

සදාසරන මෑණියන්ගේ සිතුවම නිහඬ දේශනයකි....



       නිර්නාමික චිත්‍ර ශිල්පියෙකු සිය තෙලිතුඩින් ස්වකීය කලා නිර්මාණ ශක්තිය යොදා මෙම පින්තූරයට ජීවය කවා,
කරුණාවේ හා දයාවේ ප්‍රතිමූර්තියක ස්වරූපයෙන් එය දකින්නවුන් උදාර හැගුම් වලින් පුබුදු කරවයි..

                  දෙව්මවගේ හිස මත දැක්වෙන රන් කිරුළ සංකේතවත් කරන්නේ ,සමස්ත ලෝකයා සදාසරනයේ මාතාවගෙන් ලැබූ පිහිට උපකාර සදහා කෘතඥතා පූර්වක භක්ති ආදරයයි.නව වැනි පියුස් ශුද්ධෝත්තම පියතුමා විසින් වර්ෂ 1867 දී පළදවන ලද්දකි .

                         සදාසරනයේ මෑණියන්ගේ සිරස වසා ඇති සළුවේ නළලට කිට්ටුව කැපී පෙනෙන තරුවක් ඇත .මුහුදු යාත්‍රිකයන්ට මග පෙන්වන එතුමිය ,අදුරු ලොවට ක්‍රිස්තුස් වහන්සේ නැමැති ලෝකාලෝකය දානය කලාය.ගල්පර මෙන් වු ජීවිත බාධක වල නොගැටී,සුරපුර සුරක්ෂිත වරායට අප සේන්දු වනුයේ ,මුහුදු තාරකාව වන එතුමියගේ සරණයෙනි.

             මුදුනේ එතුමියගේ ඔටුන්නට කිට්ටුව වමේ සහ දකුණේ ග්‍රීක අකුරු දෙක බැගින් ඇත එයින් අදහස් කරනුයේ "දේව මාතාව "
යන්නය.සදාසරණයේ මාතාවන්ගේ පියවුන දෙතොල,කථාව සුලු වුවද ,එතුමිය සියල්ල සිත්හි නිදන් කර මෙනෙහි කල බවට සාක්ෂියකි .

                එතුමියගේ ඇදුම රතුවන්‍ ය.ජුදා සිරිත අනුව මරියතුමී කන්‍යාවක් බව,මෙම රතුවන්‍ ඇදුමෙන් හෙළි කරයි .එතුමියගේ සළුව ඝන නිල් පැහය .මෙම පැහැයෙන් හගවනුයේ ,එතුමිය මවක් බවය.පින්තූරයේ රන්වන් පැහැගැන්වුණු පසුබිම,අපට ස්වර්ගය සිහිපත් කරයි.එය අපගේ පරම බලාපොරොත්තුව විය යුතුයි .

                         දකුණු කම්මුලට කිට්ටුව ග්‍රීක බසින් "අග්‍රදූත මිඛායෙල් තුමාය "යි ලියා ඇත.සාතන් පැරදූ හෙල්ලය එතුමාගේ දකුණතෙහිද,ක්‍රිස්තුස් වහන්සේ අප නිසා පානය කල තිත්ත කාඩිය පාත්‍රය එතුමාගේ වමතෙහිද,දක්නට ඇත.
                          වම් කම්මුලට කිට්ටුව ග්‍රීක බසින් ලියවී ඇත්තේ "ගාබ්‍රියෙල් අග්‍ර දූතයා"
යන්නය.ජේසු තුමාගේ දුක් ප්‍රාප්තිය හැගවීමට එතුමන්ගේ අතෙහි කුරුසිය ද,ඇණ ද,ඇත.ජේසු බිළිඳුගෙ වම් පැත්තේ මුහුණට කිට්ටුව තිබෙන ග්‍රීක අකුරු වලින් "ජේසු ක්‍රිස්තුස් වහන්සේ "යන නාමය සදහන් වී තිබේ.

             සදාසරන මවගේ වම් අතෙහි එතුමියට තුරුල් වී සිටින්නේ එතුමියගේ පරම වස්තුව වන ජේසු බිළිඳුන්ය තම දුක්ප්‍රාප්තියේ අභියෝගය සංකේතවත් කරන කුරුසිය ,ඇණ සහ තිත්ත කාඩිය පාත්‍රය දුටු බිළිඳුන් භයට පත්ව ,අම්මාගේ දකුණත වැරෙන් අල්ලාගෙන සිටින අතර උන්වහන්සේගේ පාදයක වූ පාවහන් ගිලිහී යාම ,බිළිඳුන්ගේ භීතියේ කම්පනයට හේතුවකි .

                   මරි මවු බිළිඳු ජේසු පුතු තුරුල් කරගෙන ,පුතු සනසද්දීත් ,එතුමියගේ නෙත් අසරන අප දෙසට  යොමුවී තිබෙන්නේ  ,සදාසරනයේ මෑණියන් ලෙස ඇය අපට සෙනෙහස දක්වන නිසායි.

 එතුමියගේ සෙනෙහස තුල සදා සරණය පතමු
                   
                           
                     

මව් පදවියේ සාන්තුවරයාණන් ..ශුද්ධවූ ජෙරාඩ් මැජෙල්ලා මුනින්ද්‍රයාණන්

❤️❤️ ශුද්ධවූ ජෙරාඩ් මැජෙල්ලා ❤❤️
මව් පදවියේ සාන්තුවරයාණන්...මංගල්‍යය දිනය - ඔක්තෝබර් 16

                      ශුද්ධවූ ජෙරාඩ් මැජෙල්ලා මුනිතුමා සැගවුන සාන්තුවරයෙකි.එතුමන් හදුනාගත් අයට සහය වන මැදහත්කාර ශුද්ධවවන්තයෙකි .දුබල මවුන්ට ,පීඩිත සිතැතියනට පිහිට වූ සභාවේ අපේ සහෝදරයෙකි.මෙතුමා දස අට වන වැනි ශතවර්ෂයේ විශ්මයජනක දේ සිදු කරන්නා ලෙස ප්‍රකට ය.සැබැවින්ම සර්වබලධාරී දෙවි මහෝත්තමයාණෝ පහත් අය උසස් කර ඔවුන්ගේ මාර්ගයෙන් නොයෙක් ආශ්චර්යයන් සිදුකරන සේක .ශුද්ධවූ ලියවිල්ලෙන් සදහන් පරිදී "සාන්තුවරයන්ගේ මාර්ගයෙන් දෙවිදාණෝ මනෝහර පැසසුම් ලබන්නෝය" යන මහගු වගන්තියේ සත්‍ය මෙතුමාගේ ජීවිත කතාවෙන් පැහැදිලි වේ....

              එතුමාන්ගේ ශුද්ධවන්ත භාවය රදා ඇත්තේ එතුමා විසින් සිද්ධ කරන ලද ලෝකෝත්තර ක්‍රියාවන්හි නොව දිව්‍ය ගැලවුම්කාර නිකායේ තමාගේ වැඩ කටයුතු සියල්ල දේව අභිමතය අනුව ඉතා හොඳින් ඉටු කිරීමෙහිදී ය .එසේ කිරීමට පහසුම මාර්ගය ලෙස කීකරුකම එතුමා තෝරා ගත්තේය .ශ්‍රේෂ්ඨයින්ට කීකරු වීමෙන් තමා කිසි දිනක නොමග නොයන බව තරයේ විශ්වාස කලේය ." අනිත් අය ශුද්ධවන්තකම කෙබඳු ධර්ම ගුණයක තැබුවත් මට කම්නැත .මේ සියල්ල දේව කැමැත්ත ලෙස ඉටු කිරීමට නිතර වෙර වඩමි" යි එතුමා පැවසීය .ඒ අනුව ජීවිත් විය....
   
                 
පාපය නැමැති දුර්ගුණය හේතු කොට ගෙන මිනිසා දෙවියන්වහන්සේට විපක්ෂව ජීවිත් වේ.නොමග ගිය අප ජීවිත නැවත දෙවියන්වහන්සේට ප්‍රසන්න ලෙස හැඩගස්වා ගැනීමට උතුම් මාර්ගය පාපොච්චාරණය වේ.එබැවින් යහපත් පාපොච්චාරණයේ සාන්තුවරයාණන් වූ ජෙරාඩ් මැජෙල්ලා මුනිතුමාගේ එම පිහිට යදින්න ..



          තවද එතුමා ආරක්ෂාකාර සාන්තුවරයා වේ.මව්වරුන්ට මේ වැනි සාන්තුවරයෙක් ගේ පිහිට අවශ්‍ය වනුයේ ඔවුන්ගේ ඒ දුබල පැයේදී පමණක් නොව මවක් වශයෙන් ඔවුන් වෙත පැවරී ඇති වගකීම් හා යුතුකම් ඉටු කිරීමේදීත්ය.....
    මව්වරුන්ගේ සාන්තුවරයා වන ජෙරාඩ් මැජෙල්ලා මුනින්ද්‍රයානණී......
                  අප නිසා යාච්ඤා කල මැනව ...........
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Thursday, March 28, 2019

සදාසරණයේ අම්මා ගැන ඉගෙනගන්න අපත් එක්ක එකතු වෙන්න

සදාසරණයේ දේවමාතාවන්ගේ පින්තූරයෙන් අරුත් ගැන්වෙන පණිවුඩය .............
                   සදාසරණයේ දේවමාතාවන්ගේ මෙම කලා කෘතිය පිළිබඳව අප දැනගත යුතු ඉතා වැදගත්කම කරුණක් වන්නේ එය පිළිරුවක් නොව ,අයිකන (ICON) නැමැති කලාවට අයත් පින්තූරයක් බවයි.මෙය නිර්මාණය කරන ලද කලාකරුවා පිළිබඳව විස්තර ඉතිහාස පොත්වල සදහන් නොවේ."දුක් ප්‍රාප්තියේ කන්‍යාව" නම් සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කරන ලද මෙම අයිකනය තුලින් ගැලවීමේ අභිරහස පිළිබඳව කතාන්දරය පිළිබිඹු කරයි......
අයිකනය"(ICON) යනු කුමක්ද ?
             ග්‍රීක භාෂාවේ "එයිකොන්" (EIKON) යන වචනයෙන් බිදී එන "ICON" " අයිකනය"යන වචනයේ අරුත වන්නේ "ස්වරූපය" (IMAGE) යන්නයි.මුල් ක්‍රිස්තු අනුගාමිකයන් මෙම වචනය යොදා ගත්තේ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව පැහැදිලි කරදීමටයි."ක්‍රිස්තුස් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපයයි" (කොලොස්සි 1:15, හේබ් 1:3)
                   එබැවින් ක්‍රිස්තියානි අයිකනයක් යනු ක්‍රිස්තුස් වහන්සේගේ හෝ දේවමාතාවන්ගේ හෝ ශුද්ධවවන්තයකුගේ සැබෑ ස්වරූපය විදහා දක්වන දේව ධර්ම නියමයන්ට හා තාක්ෂණයන්ට අනුව නිමැවූ කලා කෘතියකි .....
             අයිකනයක් යනු හුදෙක්ම අතීතයේහි සිදු වූ සිදුවීමක් හෝ ජීවිත් වූ පුද්ගලයකු ප්‍රතිනිර්මාණය කිරීමක් පමණක් නොව එයින් නිර්මාණය කරන පුද්ගලයාව හෝ සිදුවීම සජීවී ලෙස විදහා දැක්වීමයි .එය මිනිස් ස්වභාවය සහ දේව අභිරහස හමුවන ස්ථානයකි .අයිකනයක් යනු අල්තාර සැරසිල්ලක් නොව එය අල්තාරයකි...පෙරදිග ජන වන්දනාව තුල දේව වචනයත් සමගම අයිකනයද වන්දනාවට ලක්වන්නේ මේ හේතුව නිසාවෙනි ....අයිකන නිර්මාණයක් යනු යාච්ඤාවේ ප්‍රථිඵලයක් යයි පැවසීම සත්‍යයකි .අයිකන නිර්මාණකරුවන් තම නිර්මාණකරනයේ යෙදෙන්නේ යාච්ඣාව සහ ඊට අදාල මර්ධන ක්‍රියා තුල යෙදෙන අතරතුරය .යාච්ඤාශීලි වාතාවරණයක් තුල නිර්මාණ කරණයේ යෙදෙන කලාකරුවන් තම අයිකනය ඉදිරියේ අනාගතයේදී යාච්ඤා වේ යෙදෙන  සැදැහැවතුන්  වෙනුවෙන්ද යැදීමට අමතක නොකරන බව  ඓතිහාසික සාධක පෙන්වා දෙයි .බොහෝ අයිකන කලාකරුවන් දේව අභිරහස පිළිබඳව භාවනාත්මක යාච්ඤාවේ යෙදුණු තාපසවරුන් බව ඉතිහාසය අපට පෙන්වා දෙයි.ඔවුන්ගේ කලාකෘති ඔවුන් ලත් අධ්‍යාත්මික දීමනා සහ ගැඹුරු විශ්වාසය අන් අය සමග බෙදාගත් සුවිශේෂී මාධ්‍යයක් විය .
       අයිකනයක් නිර්මාණය කිරීමෙහි ප්‍රධාන අරමුණ වූයේ භාවනාවට අත්වැලක් ලෙස එය භාවිත කිරීමයි .අයිකනයක් ඉදිරිපිට පැමිණෙන තැනැත්තාගේ හද තුල භාවනාත්මක අදහස් ඇතිවෙන්නාක් මෙන්ම දේව අභිරහස් පිළිබඳව දැනුම වර්ධනය කරගැනීමේ උනන්දුවක් ද ඇතිවන්නේ ය ....ජනවන්දනා යාච්ඤාව පිළිබඳ හසල අවබෝධයක් සහ උනන්දුවක් අයිකනයක් දෙස බලන තැනැත්තාගේ හද තුල ජනිත කරවයි .......